එසේම ඉරාන අභ්‍යන්තර බසීජ් (Basij) මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සුලෙයිමාන් ද මියගිය බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙන්නේ.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන ‘මෙහර්’ (Mehr) පුවත් සේවය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, එරට ජාතික ආරක්ෂක මණ්ඩලය එහි ලේකම්වරයා වූ ලාරිජානිගේ ඝාතනය තහවුරු කර ඇති බවයි.
“ඉරානයේ සහ ඉස්ලාමීය විප්ලවයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිත කාලයක් පුරා වෙහෙස වූ ඔහු, අවසානයේ සිය දීර්ඝ කාලීන ප්‍රාර්ථනය ඉටු කර ගනිමින්, සත්‍යයේ කැඳවීමට ප්‍රතිචාර දක්වා, සේවා පෙරමුණේ උදාර ප්‍රාප්තියක් හිමිකර ගත්තේය,” යනුවෙන් එම සභාවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙහර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වූයේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සුලෙයිමාන්ගේ මරණය තහවුරු කිරීමෙන් පසුවයි.
පෙබරවාරි 28 වැනිදා යුද්ධයේ පළමු දිනයේදී ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු, ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉහළම තනතුරක් හෙබවූ ඉරාන නිලධාරියා ලාරිජානි වෙනවා.
ලාරිජානි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ පැවති පලස්තීනුවන්ට සහය පළ කරන ‘අල්-කුද්ස් දින’ රැලියට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමග සහභාගී වෙමින්.
ඔහු වසර ගණනාවක් පුරා ඉරාන දේශපාලන බලධාරීන් අතර ප්‍රධාන චරිතයක් වූ අතර, වරෙක බටහිර රටවල් සමග පැවති න්‍යෂ්ටික සාකච්ඡා සඳහා නායකත්වය ලබා දුන්නා.
මීට පෙර ඔහු ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
