තිදරු මවකට ලක්ෂ 28ක වන්දි ගෙවීමේ නියෝගය

News Express
2 Min Read

තිදරු මවකට ලක්ෂ 28ක වන්දි ගෙවීමේ නියෝගය අභියෝගයට ලක් කළ රියැදුරෙකුගේ පෙත්සම මහාධිකරණය නිෂ්ප්රභ කරයි
තමා අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරී ලෙස කැබ් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ තිදරු මවකට රුපියල් ලක්ෂ 28ක වන්දියක් ගෙවන ලෙස අනුරාධපුර දිසා අධිකරණය ලබා දී තිබූ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා රියැදුරෙකු ඉදිරිපත් කළ අභියාචනය උතුරු මැද පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නිෂ්ප්රභ කර තිබෙනවා.

ඉකුත් 2007 වසරේ මාර්තු මස 04 වන දින හෝ ඊට ආසන්න දිනයකදී නොච්චියාගම, ළිඳවැව ප්රදේශයේ වංගු සහිත ස්ථානයකදී සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබුවේ එම ප්රදේශයේම පදිංචි දීපානි සුනේත්රා වැලිවත්ත නැමති තිදරු මවක්.

ඇය සිය දරුවන් සමඟ මාර්ගයේ වැලි තීරුවේ නිවැරදි දිශාවෙන් ගමන් කරමින් සිටියදී අනුරාධපුර ජයන්ති මාවතේ පදිංචි ස්මයිල් මොහොමදු සුල්තාන් නැමැති රියැදුරා පැදවූ කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

තමාට සිදුවූ හානිය වෙනුවෙන් ඇය විසින් පවරන ලද නඩුව විභාග කළ අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම්, වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 28ක වන්දියක් ගෙවන ලෙස විත්තිකාර රියැදුරාට නියෝග කර තිබුණා.

දිසා අධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බව පවසමින් රියැදුරා විසින් ඉදිරිපත් කළ අභියාචනය උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ඩී.එම්. රුවන් ධම්මික දිසානායක සහ සඳුන් විතානගේ යන විනිසුරුවන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලනු ලැබුවා.

එහිදී විනිසුරු රුවන් ධම්මික දිසානායක ප්රකාශ කළේ නඩුවේ සාක්ෂි මත අභියාචක රියැදුරාගේ අපරීක්ෂාකාරී රිය පැදවීම මනාව තහවුරු වන බවයි.

අනුරාධපුර දිසා විනිසුරුවරයා සියලු සාක්ෂි නිසි ලෙස ඇගයීමට ලක් කර තීන්දුව ලබා දී ඇති බැවින්, එම තීන්දුව වෙනස් කිරීමට හෝ මැදිහත් වීමට සිවිල් අභියාචනා මහාධිකරණය තීරණය නොකරන බව විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව අදාළ අභියාචනය, ගාස්තුවලට යටත්ව නිෂ්ප්රභ කිරීමට අධිකරණය පියවර ගත්තා.

මෙම නඩු වාරයේදී අභියාචක රියැදුරා වෙනුවෙන් නීතිඥ සජීව ගුණරත්නගේ උපදෙස් මත නීතිඥ ලලිත් සේනානායක පෙනී සිටි අතර, වගඋත්තරකාර තිදරු මව වෙනුවෙන් නීතිඥ රෝහණ ප්රේමලාල් පෙනී සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *