මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.
පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බවය.
ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමුවී තිබේ.
ඒ අනුව මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.
කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය.
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දිසානායක මහතා අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
එලෙස ඔහුව කැඳවා ඇත්තේ, සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් ලෙසයි.
ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත්, ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මගින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවය.
හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු විසින් බව වාර්තා වෙයි.
මොහුට අධිකරණය මගින් විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.
ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තාවීමක් නොවූ බවද විමර්ශන නිලධාරීන් පවසයි.
කෙසේවෙතත්, වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිට ඇති බවද වාර්තාවෙයි.
රාජපක්ෂ මහතාගේ මරණය විමර්ශනවලට දැඩි බාධාවක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
