ඉන්දියාවටත් ඉබෝලා රිංගලා? සැකපිට උගන්ඩා ජාතික කාන්තාවක් නිරෝධායනයට

News Express
2 Min Read

ඉබෝලා වෛරසය ආසාදනය වී ඇතැයි යන සැකය මත ඉන්දියාවේ බැංගලෝර් නුවරදී උගන්ඩා ජාතික කාන්තාවක් නිරෝධායනයට ලක් කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අදාළ තැනැත්තියට ඉබෝලා ආසාධිත බව තහවුරු වුවහොත්, එය 2014 වසරෙන් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාධිත සිදුවීම බවට පත්වනු ඇති.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු අයෙකු ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක්.

28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට ශරීර වේදනාවක් හටගෙන ඇති නමුත්, ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් බලා සිටින බවත්, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් අදාළ මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

නැගෙනහිර අප්‍රිකානු රටක සිට පැමිණි මෙම සංචාරක කාන්තාව ඉන්දියාවේ අහමදාබාද් හරහා දකුණුදිග බැංගලෝර් නගරයට පැමිණ ඇති අතර, ඇයගේ පරීක්ෂණ වාර්තා දිනක් හෝ දෙකක් ඇතුළත ලැබීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දියාවේ ගුවන් තොටුපළ සහ අනෙකුත් ඇතුළු වීමේ ස්ථානවල සෝදිසි කිරීම් සහ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණ, නිරෝධායනය සහ වෙනත් ආරක්ෂිත පියවරයන් සම්බන්ධයෙන් උපදෙස් මාලාවන් නිකුත් කර ඇති බව අමාත්‍ය නඩ්ඩා සඳහන් කර තිබෙනවා.

කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දියාව මේ වන විටත් සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *