පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට බැන වැදුණු බව පවසමින් අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු දෛනික සටහන් පොතේ සටහනක් යොදා සේවය අතහැර නිවසට ගොස් ඇති පුවතක් වාර්තා වේ.
මෙසේ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ අලුත්ගම පොලිසියේ සේවය කළ අංක 100266 දරන කොස්තාපල් ගුණතුංග නමැති නිලධාරියා.
වාර්තා වන ආකාරයට, මෙම නිලධාරියා ඇස් රෝගයක් සහ කම්මුල් ගාය හේතුවෙන් වෛද්‍ය නිවාඩු ලබා නිවසට ගොස් සිට තිබෙනවා.
අනතුරුව ඔහු නැවත සේවය සඳහා පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී ඔහු ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් මුල්කරගනිමින් ස්ථානාධිපතිවරයා ඔහුට බැණ වැදී ඇති බව සඳහන්.
ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට තවදුරටත් රැකියාව කරගත නොහැකි බවත්, දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බැවින් මෙසේ රැකියාවෙන් ඉවත්ව යන බවත් ඔහු පොලිස් දෛනික සටහන් පොතේ ලියා තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
එසේම, සිය මවගේ රෝගී තත්ත්වයක් පවතින බවත්, මීට පෙරද අවස්ථා කිහිපයකදීම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට නිතර නිතර බැන වැදුණු බවත් ඔහු එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇතැයි වාර්තා වෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විසින් මේ වන විටත් ඉහළ පොලිස් නිළධාරීන් දැනුවත් කර ඇතැයි සඳහන්.
මින් ඉහතදී ද මෙම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු මෙවැනිම ආකාරයෙන් ලිපියක් ලියා තබා සේවය අතැර ගිය බවට ද වාර්තා වුණා.
