දේශීය ආදායම් පනත් සංශෝධනයට බිය විය යුත්තේ බදු වංචාකරුවන් පමණයි -චතුරංග අබේසිංහ-

News Express
1 Min Read

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත හරහා මෙතෙක් ක්‍රමවත්ව බදු නොගෙවූ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අවස්ථාව ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රජය විසින් අසංවිධානාත්මක ව්‍යවසායකත්වයන් විධිමත් ආර්ථික ප්‍රවාහයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවයි.

මේ හරහා රටේ වගකීමෙන් බදු ගෙවන සහ සද්භාවයෙන් කටයුතු කරන සාමාන්‍ය ජනතාවට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද ඔහු සඳහන් කළා.

මෙම නව නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් බිය විය යුත්තේ බදු පැහැර හරින වංචාකරුවන් පමණක් බවත්, මෙම පනත් කෙටුම්පත හරහා ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාවලිය කුමක්ද යන්නත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

ඒ අනුව යම් පුද්ගලයෙකු නියමිත පරිදි බදු ගොනුවක් ඉදිරිපත් කර නොමැති නම් හෝ එහි යම් අඩුපාඩුවක් ඇත්නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රථමයෙන් ඒ පිළිබඳව දැනුම් දෙනු ලබනවා.

අනතුරුව ඊට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන අතර, නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් පමණක් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව වුව ද අදාළ පුද්ගලයාට තමන්ගේ පාර්ශ්වයෙන් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට පූර්ණ අවස්ථාව හිමි වන බව ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *