ගල් අඟුරු ආනයනය කිරීමේ සිදුවීමකදී රුපියල් බිලියන දහයකට (කෝටි 1000) ආසන්න මහජන මුදලක් අවභාවිත වී ඇතැයි පැවසෙන සිද්ධියකට අදාලව හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම විශේෂ විමර්ශනය ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් 2026 ජනවාරි 09 වැනිදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව වන අතර මෙම සිදුවීමේ ප්‍රධාන චූදිතයන් ලෙස හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍යසිරි කුමාර ජයකොඩි සහ එකල සේවය කළ උසස් නිලධාරීන් කණ්ඩායමක් නම් කර තිබෙන බවද වාර්තා වේ.
එමෙන්ම, 2026 ජනවාරි 07 වැනිදා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක විසින් පාර්ලිමේන්තු සභාගර්භය තුළදී මේ පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණය ද මෙම විමර්ශනයට ප්‍රධාන පදනමක් වී ඇති බවද සඳහන් වේ.
‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි පත්‍රිකා දෙකක් සැලකිල්ලට ගනිමින් අල්ලස් කොමිසම විසින් මෙම විමර්ශන කටයුතු නිල වශයෙන් අරඹා ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අඩංගු නිවේදනයක් කොමිෂන් සභාව විසින් පැමිණිලිකාර පාර්ශවය වෙත යොමු කර තිබෙන බවද වාර්තා වේ.
