පාස්කු ප්‍රහාර රූකඩයේ අන්තිම නූල තිබිලා තියෙන්නේ JVP එකේ – නාමල් රාජපක්ෂ

News Express
2 Min Read

වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර, ඒ තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, තමන් පිල්ලෙයාන් හමු වීමට ගියේ ‘තාප්පයෙන් පැන’ නොවන බවයි.

බන්ධනාගාරයේ නීත්‍යානුකූල ලියකියවිලි අත්සන් කර, තමන් ඔහු සමඟ සාකච්ඡා කරන විටත් බන්ධනාගාර නිලධාරියකු තමා අසල රැඳී සිටි බව ද ඔහු පෙන්වා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් මහජන මුදල් වියදම් කරමින් ප්‍රංශයට ගියේ, නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ පිල්ලෙයාන් හමුවීමට ගියේ දැයි අසා දැන ගැනීමට නම්, එය බරපතළ ලෙස මහජන මුදල් අවභාවිතා කිරීමක් බව ද ඔහු ප්‍රකාශ කළා.

එසේම, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් මේ සිදු වන දේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් ද, ආණ්ඩුවේ අවශ්‍යතාවක් ද, නැතහොත් දේශපාලන අවශ්‍යතාවක් ද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් ඇති බව ඔහු සඳහන් කළා.

ආණ්ඩුව මෙය දේශපාලනික වශයෙන් මෙහෙයවීමට කටයුතු කරන බවත්, සාමාන්‍යයෙන් රූකඩ නටවන්නේ නූල්වලින් වුව ද පාස්කු ප්‍රහාරය නමැති රූකඩයේ අවසාන නූල තිබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සතුව බවයි ඔහු කියා සිටියේ.

පාස්කු ප්‍රහාරයේ ලිපිගොනු යට ගැසූ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම, එම නිලධාරීන් ලවාම කටඋත්තර ලියාගැනීම සහ පාස්කු ප්‍රහාරය සංවිධානය කර ක්‍රියාත්මක කළ අයගේ දෙමාපියන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන් වීම වැනි කරුණු දෙස බැලීමේදී, එහි අවසාන නූල තිබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සතුව බව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *