යුද්ධයට ජයග්‍රාහකයෝ නෑ කියන කතා පුහු බයිලා ! ලංකාව යුද්ධය දිනුවා, කොටි පැරදුණා ! -ආචාර්ය චන්න ජයසුමන-

News Express
2 Min Read

යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති බවට සහ ඉතිරිවන්නේ දුක පමණක් බවට විවිධ පාර්ශව සිදුකරන කතා සියල්ල පුහු බයිලා පමණක් බවත්, තිස් වසරක යුද්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය පැහැදිලිවම ජයග්‍රහණය කර කොටි ත්‍රස්තවාදීන් පරාජය වූ බවත් ‘සර්වජන බලය’ ව්‍යාපාරයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

ලොව ඕනෑම යුද්ධයක ජයග්‍රාහකයන් සහ පරාජිතයන් සිටින බව පෙන්වා දෙන ඒ මහතා, වීරෝදාර රණවිරුවන්ට උපහාර පුදමින් මැයි 18 වැනිදා මුළු රටම සමරන්නේ එම ඓතිහාසික ජයග්‍රහණය බව අවධාරණය කළේය.

සර්වජන බලය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විශේෂ රණවිරු සැමරුම් උත්සවයකට එකතු වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය චන්න ජයසුමන , පරාජිතයන්ට සිය මියගිය ඥාතීන් පෞද්ගලික මට්ටමින් සැමරීමට අයිතියක් තිබුණද, ඒ සඳහා ප්‍රසිද්ධියේ රාජ්‍ය විරෝධී සැමරුම් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ නාසි හමුදාව සැමරීමට ලොව කිසිදු රටක ඉඩ ලබා නොදෙන සම්ප්‍රදාය ලංකාවට ද පොදු බවත් ප්‍රකාශ කළේය.

වසර 2272කට පෙර මෙරටට බුදු දහම හඳුන්වා දුන් ඉන්දියානු ජාතික මිහිඳු මහ රහතන් වහන්සේට අදටත් ලාංකීය සිංහල බෞද්ධ ජනතාව පොසොන් පොහෝ දින මිහින්තලාවට ගොස් උත්කර්ෂවත් අන්දමින් කෘතගුණ දක්වන බව සිහිපත් කළ ඒ මහතා, තවත් වසර 2000ක් ගියද මව්බිම බේරාගත් රණවිරුවන්ට මේ රටේ ජනතාව ඒ අයුරින්ම කෘතගුණ සලකන බව සඳහන් කළේය.

එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ ඓතිහාසික කාර්යභාරයට නායකත්වය දුන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම, ඊට අවශ්‍ය මතවාදීමය නායකත්වය සහ පවුර ලබාදුන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ද මේ පොළොවේ සදාතනික වීරයන් බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් ඇතුළු රටට ආදරය කරන පිරිස් එම සැබෑ වීරයන්ගේ අභීත කතාව තමන්ගේ දරුවන්ට ද නොබියව කියා දෙන බවත්, දේශපාලන වාසි තකා ජාතික විජයග්‍රහණයේ වටිනාකම බල්දු කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ආචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *