උතුරු පළාතේ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි සිදු කිරීම තහනම් බවට වූ ප්‍රචාර අසත්‍යයි – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා

News Express
1 Min Read

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින, “මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් මහත් වගකීමෙන් යුතුව දන්වා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ.

දිගු කාලයක් තිස්සේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින්, ඇතැම් පිරිස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම නිර්මාණය කරමින් ව්‍යාප්ත කරන බව ද එහි සඳහන් වනවා.

මෙම ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එබැවින් මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත් එහි දැක්වෙනවා.

ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටී, ජාතික හා ආගමික සංහිඳියාව මෙන්ම සාමය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙසයි අදාළ නිවේදනය මඟින් සමස්ත ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *