ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාව ලබන මස සිට

News Express
3 Min Read

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීමේ අරමුණින්, ඔවුන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාවක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන මස සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

රුපියල් මිලියන 430.7ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන සේවාවක් පමණක් නොව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් ජනතා සුබසාධන ව්‍යාපෘති මාලාවේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක්.

පොදු ප්‍රවාහන පද්ධතිය තුළ පවතින භෞතික බාධක ඉවත් කර, ආබාධ සහිත තැනැත්තන්ට ස්වාධීනව සහ සුරක්ෂිතව සමාජගත වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි මූලික අරමුණයි.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ බස් රථ 10ක් පසුගිය 10 වැනිදා හම්බන්තොට වරාය වෙත ගෙනවිත් තිබෙනවා.

මෙම බස් රථ ලබන සෙනසුරාදා කොළඹට රැගෙන ඒමෙන් පසු මෙට්‍රෝ සමාගම වෙත නිල වශයෙන් භාර දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ආසන 33කින් සමන්විත මෙම එක් බස් රථයක මගීන් 80 දෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර, රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂිත තාක්ෂණික අංගවලින්ද මේවා සමන්විතයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙනවා.

ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු සහ පස්වරු කාල සීමාවන්හිදී සෑම විනාඩි 40කට වරක් මෙම බස් රථ ධාවනය කෙරෙන බව සඳහන්.

විශේෂයෙන් මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන සෘජුවම ආවරණය වන පරිදි ධාවන කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙම බස් රථ සේවාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තවරුන් 28 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර, සමාජ සේවා අමාත්‍යාංශය මගින් ලබා දෙන මෙම පුහුණුවට බස් රථ තාක්ෂණය සහ මගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම සහ මගී සත්කාර, ආබාධ සහිත මගීන් සමඟ සන්නිවේදනය සඳහා වන සංඥා භාෂාව පිළිබඳ පුහුණුව ඇතුළත් වනු ඇති.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, ලබන අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100ක් මෙරටට ගෙන්වා ආබාධ සහිත තැනැත්තන් සහ සාමාන්‍ය මගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම මීට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් බස් නැවතුම්පොළවල්ද ආබාධ සහිත තැනැත්තන්ට හිතකර ප්‍රවේශ ප්‍රමිතිය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *