මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මාස දෙකක පමණ කාලයක සිට කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ එදිනෙදා රාජකාරී දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වි මහජනයා ද දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
හිටපු කොමසාරිස් ජනරාල්වරයා නීතිමය හේතුවක් මත සේවයෙන් ඉවතට යාමත් සමගම අභ්‍යන්තර රාජකාරි මට්ටමින්ද ගතයුතු ක්‍රියාමාර්ගයන් දැඩි අලස මට්ටමින් සිදුවන බවටයි වාර්තා වෙන්නේ.
ඊට අමතරව රියදුරු බලපත්‍ර හා අංක තහඩු මුද්‍රණය ද ඉතා මන්දගාමීව සිදුවන බැවින් ඊට මුදල් ගෙවා ඇති පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි දැනගන්නට තිබෙනවා.
මේ වන විට වාහන අංක තහඩු ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් සහ රියදුරු බලපත්‍ර ලක්ෂ 03ක පමණ ප්‍රමාණයක් ලබාදීමට නියමිතව ඇතැයිද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
වාහන අංක තහඩු වසර දෙකක පමණ කාලයක සිටත් රියදුරු බලපත්‍ර වසර දෙකක පමණ කාලයක සිටත් පාරිභෝගිකයන් වෙත ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් පැවසෙනවා.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් තාරක දේශප්‍රියගෙන් විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළා,
”හිටපු කොමසාරිස් ජනරාල්තුමා අත්අඩංගුවට ගත්තේ මාර්තු මස අවසානයේ. ඉදිරියේදී අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ඒ පිළිබඳ සලකා බලයි. අපේ තියෙනවා ඕෆ්ලයින් සහ ඔන්ලයින් කියලා දිස්ත්‍රික් කාර්යාල වර්ග දෙකක්. ඔන්ලයින් දිස්ත්‍රික් කාර්යාල 11යි. ඕෆ්ලයින් දිස්ත්‍රික කාර්යාල 14 යි. ඕෆ්ලයින් එන ඒවා එන්නෙ තැපෑලේ. ඒ එවන එක තමයි ප්‍රමාදයක් වෙන්නේ. මොකද ඒවා ඉන්නේ සති දෙකකට සැරයක්.
නමුත් දැන් අපි පටන් අරන් තියනවා ඒ දිස්ත්‍රික්ක කාර්යාල 14ත් ඔන්ලයින් කරන්න. එතකොට එයාලටත් ඒ වෙලාවෙම සිස්ටම් එකට දාන්න පුළුවන්. එතකොට කාඩ් ප්‍රමාදය නිසා ඇති වෙච්ච කාඩ් ප්‍රින්ටින් ප්රශ්නය අපි දැන් මේ වන විට යුද හමුදාවේ සහ තරුණ සේවා සභාවේ අමතර ශ්රමදායකත්වයත් අරගෙන බොහෝ දුරට සියයට පනහකට එහා ක්ලියර් කරලා යවලා තියෙන්නේ. ඒවා මේ දවස්වල තැපෑලට දානවා. ඊට පස්සේ අපිට ගැටළුවක් වෙන්නේ නෑ අපිට කාඩ් මිලියනයක් හම්බවෙනවා. තව මාස දෙකකින් එතකොට අපිට ඒ විදිහට බැලන්ස් කරගන්න පුළුවන්. අංක තහඩු මැයි මාසේ 10 වන විට අලුත් සැපයුම්කරු ප්‍රින්ට් එක පටන් ගන්නවා. ඒ ඇරියස් එකත් කවර් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ.
