වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවයක් නෑ – ජනපති

News Express
3 Min Read

ජනතාවට වග කියන ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔවුන් සිදු කළ වංචා, දූෂණ පිළිබඳ චෝදනා අධිකරණය හමුවේ විභාග වන විට කලබල වී විවිධ අසත්‍ය කරුණු පතුරවමින් සිටින බවත්, එහෙත් වත්මන් ආණ්ඩුව තව තවත් ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියටම යමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන්,  අද (27) පෙරවරුවේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථීකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බැවින් පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ ”යම් හානියක් සිදු වී කෙටි කාලයක් ඇතුළත වන්දි ගෙවිය යුතුය.” යන්න රජයේ ස්ථාවරය බවය.

ජනතාව මුහුණ දෙන එම ක්ෂණික ගැටලු වලට විසඳුම් ලබා දෙන අතරම ක්‍රමිකව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 90,000ක් වෙන් කර තිබෙන බවත්, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ඉතිහාසයේ දශක ගණනාවකට පසුව වැදගත් ආර්ථික සාධක ගණනාවකින් මේ වන විට ඉහළ ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ආර්ථික දත්ත මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය කෙතරම් පහසු වන්නේද යන්න මත රටේ ආර්ථික වර්ධනය පෙන්නුම් කෙරෙන බව සඳහන් කළේය.

එසේම, මෙම කාර්යයේදී කැප වී කටයුතු කරන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ආදී ආයතනවල කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කටයුතු කළේය.

මාතර ගංවතුර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට මෙන්ම, ආර්ථික වශයෙන් පහළ මට්ටමේ සිටින ජනතාවට ස්ථිර ආදායම් මාර්ගයක් ඇති කර දෙමින් උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමටත්, මාතර දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමටත් රජය විශාල වැඩ කොටසක් සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවගේ ජිවිත උසස් කළ හැකි වැදගත්ම මාවත අධ්‍යාපනය බව හඳුනාගත් රජය දිවයින පුරා පාසල් නවීකරණය මෙන්ම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ඉදි කරමින් පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *