ආදිවාසී ජනතාවට අයත් ඉඩම් ඔවුන් වෙත ලබා දෙනවා – මහවැලි අධිකාරිය අධිකරණයට දැනුම් දෙයි

News Express
1 Min Read

රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන්නේ යැයි මහවැලි අධිකාරිය අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

වැදි නායක ඌරු වර්ගයේ වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (මැයි 26) කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මහවැලි අධිකාරිය විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල පිහිටි සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට ලබා දීමට මහවැලි අධිකාරිය විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් වැදි නායකයා ඇතුළු පෙත්සම්කරුවන් විසින් 2021 වසරේ මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ ප්‍රදේශවල වනාන්තර විනාශ කළ පුද්ගලයින්ට යළි වන වගා සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන බව සිහිපත් කරන බව මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණයට සඳහන් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *