රුපියල අවප්‍රමාණය වීමේ වාසි වගේම අවාසිත් තියෙනවා, එය පාලනයෙන් ගිලිහී නොයාමයි වැදගත් වෙන්නේ -අනිල් ජයන්ත-

News Express
1 Min Read

ගෝලීය අවිනිශ්චිතතාව ඉහළ යෑම, ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ අවදානම් නොගැනීමේ ප්‍රවණතාව සහ ආයෝජකයන් ආරක්ෂිත වත්කම් වෙත යොමු වීම හමුවේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වී ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින භූ-දේශපාලනික ආතතීන් සහ යුද ගැටුම් ද මීට සෘජුවම හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත්තේ 4.8%කින් පමණක් බවයි ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එය කලාපයේ සෙසු රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමට සාපේක්ෂව ඉතා අඩු අගයක් බව ද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සමස්ත ආර්ථිකයටම අහිතකර ලෙස බල නොපාන බවත්, එහි වාසි මෙන්ම අවාසි ද පවතින බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ පූර්වකථනය කළ නොහැකි හෝ පාලනයෙන් ගිලිහී යන ආකාරයේ අසාමාන්‍ය විචලනයක් සිදුවීමට ඉඩ නොතැබීම බවයි අවධාරණය කළේ.

එසේම ශ්‍රී ලංකා රුපියලේ අගය මෙලෙස වෙනස් වීම ආර්ථිකයේ විවිධ කොටස්කරුවන්ට විවිධාකාරයෙන් බලපාන බව ද මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *